ප්‍රශ්න පත්‍රය කළින් පිට වෙයි විභාගය නවත්වයි

ප්‍රශ්න පත්‍රය

පාසල්වල 2024 තෙවන වාර පරීක්ෂණ පළාත් මට්ටමින් මේ දිනවල පැවැත්වෙනවා. එවන් පසුබිමක උතුරුමැද පළාතේ පාසල් දරුවන් සඳහා ලබාදීමට නියමිත වූ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිදුවීමක් ඊයේ දිනයේ වාර්තා වුණා. එලෙස ඊයේ දිනයට යෙදී තිබුණු 11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාඡ මාධ්‍ය හරහා පිටවී ඇති බවට තොරතුරක් ලැබී තිබුණේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ ය. ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත් අතර දරුවන්ට යළි නිවෙස් කරා යාමට සිදු වුණා. මේ අතර එම ශ්‍රේණියේම අද (7) සහ හෙට (8) පැවැත්වීමට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි අනාවරණය වීමත් සමඟ උතුරුමැද පළාතේ 11 ශ්‍රේණිය වාර පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඊයේ රාත්‍රියේ පියවර ගත්තා.

“විද්‍යාව සහ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු වාර්තා වුණා. දැනට පොලීසියේ පැමිණිල්ලක් සටහන් කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වාචිකව සාකච්ඡා කරලා තියෙනවා. ලිඛිතව විශේෂ වාර්තාවක් මඟින් ඒ පිළිබද වාර්තා කරනවා. විභාග කටයුතු සම්බන්ධයෙන් අපට විශ්වාසනීයව මේ වගේ වාතාවරණයක් තුල තියන්න අපහසු නිසා 11 වසර වාර පරීක්ෂණ කටයුතු දින නියමයක් නැතුව කල් දැම්මා.”

සිරිමෙවන් ධර්මසේන – පළාත් අධ්‍යාපන ලේකම් – උතුරුමැද පළාත

මේ අතර ප්‍රශ්න පත්‍ර පිටවීම පිටුපස නිලධාරී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය අද චෝදනා කළා.

“දැනට හෙළිදරව් වෙලා තියෙන්නේ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර 5 ක් පිටවෙලා තියෙනවා කියලා. පැහැදිලිවම නිලධාරින් සම්බන්ධව යන කුමන්ත්‍රණයක්. පැහැදිලි ඉඟියක් අපි දෙනවා. මේ දඩයම කරේ තියාගෙන යන මිනිස්සු දිහා බැලුවම කවුද දඩයම්කරුවා කියන එක පැහැදිලි වෙනවා. මොකද මීට පෙරත් දේශපාලන පෙරළි එක්ක මේ වගේ කුමන්ත්‍රණ ආවා.”

ප්‍රියන්ත ප්‍රනාන්දු – සභාපති – ලංකා ගුරු සංගමය

මේ අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ උතුරුමැද පළාත් 6 සහ 7 ශ්‍රේණි භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද මෙලෙසම විභාගයට පෙර පිටවී තිබූ බව එම සංගමය හෙලි කළා.

“6 වෙනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයත් 7 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයත් පිටව තිබුණා. ප්‍රශ්න පත්‍රය පිට කරලා තියෙන්නේ අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කළ ගුරුවරිය විසින් බව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. ඒ ගුරුවරිය ඒක පිළිගෙන ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. දෙපාර්තමේන්තුව දැනුවත් කළා ඒ ප්‍රශ්න පත්‍ර 2 ම නැවත ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා අලුතින් මුද්‍රණය කරලා තියෙනවා ප්‍රශ්න පත්‍රයක් විදියට. ප්‍රශ්න පත්‍ර කාණ්ඩ ගත්තම එක විෂයකට ප්‍රශ්න පත්‍ර 22000 ක් මුද්‍රණය කරනවා. ලක්ෂ 2 ට ආසන්න මුදලක් එක විෂයකට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙන් කරනවා. ඒ මුදල් මේකට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අය කරගත යුතුයි.”

ප්‍රියන්ත ප්‍රනාන්දු – සභාපති – ලංකා ගුරු සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *