ONMAX DT නැමැති පිරමීඩ මුදල් ආයෝඡන ක්‍රමය මඟින් මුදල් වංචා කිරිමේ සිද්ධියට අදාළව අද ( 11 ) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ යළි කැදවනු ලැබුවා. ඒ අතරවාරයේ ගනුදෙනුව හේතුවෙන් අගතියට පත් තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත විය.
මේ අතර අදාළ සමාගමේ ( ONMAX DT ) අධ්‍යක්ෂකවරු ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කළේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2017 ක් ලැබී ඇති අතර තැම්පත්කරුවන්ට රුපියල් බිලියන 2.96 ක මුදලක් අහිමි වී ඇති බවයි.
මේ අතර සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ෂණවලදී සැකකාර අධ්‍යක්ෂකවරුවන්ට අයත් ඉඩම් 31 ක් පමණ මේ වනවිට තහනමට ගෙන ඇති බවත්, සැකකරුවන්ට අයත් විදෙස් වත්කම් සොයාගැනීම සඳහා විමර්ෂණ මෙහෙයවන බවත් විමර්ෂණ නිලධාරීන් සඳහන් කළා.
අදාළ සමාගමේ ( ONMAX DT ) සැකකාර අධ්‍යක්ෂකවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒවා හදුනා ගැනීම සඳහා ඡාත්‍යන්තර පොලීසිය ඔස්සේ විමර්ෂණ සිදු කරන බවත් නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවයි.