හාල් පොල් මිල අපිට නම් අදහා ගන්නත් බෑ

පොල්

අපේ රටේ ඡනතාව මේ වෙනකොට දැඩි පීඩනකාරී තත්වයකට පත් වෙලා. එක පැත්තකින් භාණ්ඩ හිඟය.. විශේෂයෙන්ම හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිළ දරාගත නොහැකි මට්ටමට ක්‍රමාණුකූලව ඉහළ යෑම.

ඒක විශේෂ සිද්ධියක් හැටියට අපි සලකනවා. ඒත් එක්කම ඡිවන වියදම සැහැල්ලු කිරීම සඳහා ආණ්ඩුව පොරොන්දු වුණු දේවල් ඉෂ්ඨ කරන්න අද එහෙම්පිටින්ම අසමත් වී තිබෙනවා. පළවෙනි කාරණය තමයි විදුලි බිල. මට මතකයි වත්මන් ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටම කිවුවා විදුලි බිල 3න් 2 ක් අඩු කරනවයි කියලා.

ඒ කිව්වේ රුපියල් 3000 ක් වන විදුලි බිල 1000ට බස්සනවයි කියලා ප්‍රසිද්ධ වේදිකාවල ඡනතාවට කිවුවා. කෝ දැන් ඒ පොරොන්දු. අපි කියන්නේ බලයට පත්වෙලා පැය 24 ක් ඇතුළත මේ සංශෝධන කරනවයි කියලා පොරොන්දු වුනේ.

දැන් ඒ විදුලි බිල පිළිබඳව මේ වෙනකොටත් කිසිදු අදහසක්, වචනයක් ප්‍රකාශ නොකර ගොළුවො වගේ නිහඩව සිටීම අපිට නම් අදහගන්නවත් පුළුවන්කමක් නැහැ. මොකද විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා. ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. අනිත් පැත්තට ගත්තොත් ඉන්ධන මිළ .. දැන් ඉන්ධන මිළ සූත්‍රය ගැන කොච්චර විවේවන කරාද?

ඉන්දන මිළ අඩු කරනවා කියලා කිව්වා විතරක් නෙවෙයි ඡනතාවට කිව්වා වරායට ගොඩබාන මිළට පුංචි ප්‍රතිශතයක් ලාභ හැටියට අය කරලා ඒවා බෙදා හරිනවයි කියලා.. ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ධිියේ කිව්වා සෑම ඉන්ධන ලීටරයකින්ම ..

ඒ කියන්නේ පෙට්ට්‍රල් සහ ඩීසල් ලීටරයකින්ම ආණ්ඩුව බදු වශයෙන් රුපියල් 160 ක් ගන්නවා. ඒ වගේම සමහර ඒවා ඇමතිවරුන්ගේ සාක්කුවලට යනවා කියලා මහඡනතාවට ප්‍රසිද්ධියේ කිව්වා. දැන් අපි අහන්නේ කෝ දැන් ඒ පොරොන්දු..

රුපියල් 50 ත් 60 ත් අතර මුදලකට ඩීසල් පෙට්ට්‍රල් ලබා දෙනවයි කියලා පොරොන්දු වුනු ආණ්ඩුව මේ වෙනකොට රුපියල් 2, 3 කින් සංශෝධනය කරා හැර වෙන කිසිම දෙයක් කළේ නෑ. අනිත් පැත්තෙන් බලන්න අද හාල් මාෆියාව නැති කරන්න ආණ්ඩුවට පුළුවන් වුණාද? ඒ වගේම පොල් ගෙඩියක් රුපියල් 200 ඉක්මවලා ඉහළ මිළට යන්න පටන්ගෙන ..

ඒ වගේම දැන් මාස කීපයක්, විශේෂයෙන්ම මේ පහුගිය සති කිහිපය තුළ හාල් පොල් පිළිබඳව මාතෘකා කොයි තරම් කරලියට ආවද? තාමත් ඒ පිළිබඳව නිශ්චිත උත්තරයක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. හතරවෙනි කාරණය තමයි පහුගිය දවස්වල විශාල ප්‍රශ්නයක් මතු වුණා.. මේ ස්වාභාවදහමේ යම් යම් දේශගුණික විපර්යාස, අධික වර්ෂාව.. මේවා නිසා විශාල හානියක් මේ රටේ ගොවිතැනට සිදුවුණා. ගොවිතැනට පමණක් නෙවෙයි සාමාන්‍ය ඡන ඡීවිතයටත් ඒක බලපෑවා.

විශේෂයෙන්ම කුඹුරු, ඉඩම්, අනිකුත් පොල් වගාවන් විශාල ලෙස හානි වුණා. දැන් මේ රටේ ගොවි ඡනතාවට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු දිගින් දිගටම කිව්වේ ඒ අයට සහන දෙන්න ඕන කියලා. එතකොට වගාවන් හානි වුනොත්, රුපියල් ලක්ෂයක් ගෙවනවයි කියලා වර්තමාන ඇමතිවරු ප්‍රකාශ කරපු දේවල් අද ගොවි ඡනතාව කතා කරන්න පටන් අරන් තිබෙනවා.

ඒ අයට වන්දි ගෙවන්න, ඒ අයට සහන දෙන්න කිසිදු ආකාරයේ පියවරකට අවතීර්ණ වෙන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. අර කිව්වා වගේ ප්‍රශ්නය ඇගටම ආවට පස්සේ විසදුම් හොයනවට වඩා ප්‍රශ්නය දැන අදුනගෙන විසදුම් හොයන්න ආණ්ඩුව තාමත් අසමත් වෙලා තිබෙනවයි කියලා අපි පැහැදිලිව කියන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *