වසර 5ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා වන බදු ප්‍රතිශතයන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් ප්‍රකාශයට පත් කෙරුණු එම ගැසට් නිවේදනය ප්‍රකාරව අද සිට බලපැවැත්වෙන පරිදි එම බදු ප්රතිශතයයන් පැනවෙනු ඇති . ඒ අනුව නිෂ්පාදිත දින සිට අවුරුදු 10කට නො වැඩි වාහන සදහා සියයට දෙසියක සහ සියයට 300ක ප්‍රතිශතයකින් බදු පනවා තිබෙනවා.
ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් ධාරිතාව සහ කිලෝවොට් වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව වාහන බදු වලට යටත් කර තිබෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙම නිෂ්පාදන බදු පැනවීමට අනුව බොහෝ වාහන සඳහා බදු සියයට පහළොවත් විස්සත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බවයි. ඒ අනුව රථවාහන මිල ගණන්ද ඉදිරියේදී සියයට විස්සකින් පමණ ඉහළ යා හැකියි. එන්ජින් ධාරිතාවය 660 ක් වන රථවාහන සඳහා පැවැති බද්ධ රුපියල් ලක්ෂ දහසයක් පමණ වූ අතර නව බදු ප්‍රතිශත අනුව එම බද්ධ රුපියල් ලක්ෂ දහඅට හමාරක් පමණ වනු ඇති බව ලංකා රථවාහන ආනයන කරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එම සංගමය පවසන්නේ එන්ජින් දාරිතාව දහසක් වන රථවාහන සඳහා පැවති බද්ද රුපියල් ලක්ෂ විස්සක් පමණ වූ නමුත් නව බදු ප්‍රතිශතය අනුව රථවාහන සඳහා රුපියල් ලක්ෂ 24 හමාරක පමණ බද්ධ පැනවෙනු ඇති බවයි. එන්ජින් ධාරිතාව 1500ක් වන රථවාහන සඳහා රුපියල් ලක්ෂ පනස් හතක් පමණ වූ බද්ද නව බදු ප්‍රතිශතය ගැලපීමෙන් පසු රුපියල් ලක්ෂ හැට හයක් පමණ වනු ඇති බව ද එම සංගමය පවසනවා. ඒ අනුව රථවාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරියේදී මෙයට වැට් අදී බදු ද එකතුවීම හමුවේ රථවාහන සඳහා බදු සියයට පනහකින් හැටකින් පමණ ඉහළ යා හැකි බවයි.