වියාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ( Vass Gunawardena) ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැදිගේ මහතා දැනුම් දුන්නා.
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ( Vass Gunawardena) ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ( Ravidu Gunawardena) ඇතුළු විත්ති කරුවන් පස් දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැදිගේ විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබා දුන් දඩුවමට එරහිව විත්ති කරුවන් විසින් ඉදිරිපත් කල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ශේප කර ඇති බවයි.
ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කල මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන තිබෙන බවත් විනිසුරුවරයා විත්ති කරුවන්ට දැනුම් දුන්නා. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්ති කරුවන්ට පනවා තිබෙන දඩුවම ක්‍රියාත්මක වන දිනය පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සදහන් නොකර ඇති බව පෙන්වා දුන්නා.
විත්තිකරුවන් ජනාධිපති සමාවක් වැන්නක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට දඩුවම් ක්‍රියාත්මක වන දිනය ඉතා වැදගත් බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඒ අනුව දඩුවම ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී විනිසුරුවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කල නොහැකි බවයි.