ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා. ලැව් ගිනි යනු කැලිෆෝනියාවට ආගන්තුක ස්වභාවික විපතක් නොවූවත් මෙවර හටගෙන ඇති ලැව් ගිනි කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි ප්‍රචණ්ඩකාරී ලෙස වියාප්ත වීමත් සමඟ මෙය අමෙරිකානු ඉතිහාසය තුළ හටගත් බිහිසුණුම ලැව් ගිනි පැතිරීමක් ලෙස සැලකෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ කෙනෙට් සංසෙට් ලිඩියා පර්ස්ට් ඊට්න් සහ පැලැසෙට් යන ප්‍රදේශවල ලැව් ගිනි හයක් වාර්තා වන බවයි. ජනවාරි හත්වෙනදා සිට පැතිර යන මෙම ලැව් ගිනි මේ වන විට අක්කර තිස් දහසකට අධික ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. පැළසෙට්ස් ගින්නෙන් පමණක් විනාශ වී ඇති ගොඩනැගිලි සහ නිවාස සංඛ්‍යාව පන්දහසකට අධිකයි. එහි අක්කර 17234ක භූමි ප්‍රමාණයක් ගිනි බත් වී තිබෙනවා . මේ හමුවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව කැලිෆෝනියා බලධාරීන් පවසනවා.
මේ අතර මෙම ගිනි ඇතිවීමට හේතුව සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. කැලිෆෝනියා බලධාරීන් සඳහන් කළේ පළමු ගින්න හිතා මතා දැල්වූවක් දැයි අනාවරණය වුවහොත් ඉන් සිදුවූ සියලු මරණ ඝාතන ලෙස සලකා විමර්ශන ආරම්භ කරන බවයි. කැලිෆෝනියා වැසියන් මිලියන 20කට ආසන්න පිරිසකට පසු ගිය දින තුන තුළ මේ සම්බන්ධයෙන් අනතුර ඇඟවීමේ රතු නිවේදන නිකුත් කෙරුනා. කාලගුණ දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන පරිදි මේ තත්වය මෙතරම්දරුණු වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ දිනවල කැලිෆෝනියාව හරහා හමා යන සෙන්ටා ඇනා නැමැති සුළං ප්‍රවාහයයි.
මේ අතර අද උදෑසන ලොස් ඇන්ජලිස් නගර සභා බල ප්‍රදේශයේ සියලුම වැසියන් සඳහා වහාම නිවෙස් වලින් ඉවත් වැන්නැයි සයිරන් නාද සමඟින් ජංගම දුරකථන පණිවිඩ නිකුත් කෙරුනා. කෙසේ නමුත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම පණිවිඩය නිකුත් කෙරුණු බවත් අදාළ පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක් පමණක් ලැබිය යුතුව තිබූ බවත් බලධාරින් පසුව නිවේදනය කළා. මේ ගිනි අතරතුර කොල්ලකෑම් සම්බන්ධයෙන් ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ගින්නෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.