වසර 23 කට පෙර ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය යලි සිහි ගන්වමින් යුක්රේනය රුසියාවට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා. ඒ රුසියාවේ මොස්කව් සිට කිලෝමීටර 800 ක් පමණ නැගෙනහිරින් පිහිටි කසාන් නගරයේ නිවාස සංකීර්ණ ඇතුළු විශේෂ ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කරමින්.
රුසියානු බලධාරීන් පැවසුවේ එරට වේලාවෙන් ඊයේ (22) පෙරවරු 7.40 ත් 9.20 ත් අතර කාලය තුළ මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බවයි. කසාන් නගරයට ඊයේ දිනයේදී ඩ්‍රෝන ප්‍රහාර 8 ක් එල්ල වූ බවත්, ඉන් 6 ක් නිවාස සංකීර්ණය ඉලක්ක කර එල්ල වූ බවත් කසාන් නගරාධිපතිවරයා පවසනවා.
කෙසේවෙතත් රුසියානු බලධාරීන් පවසන්නේ ප්‍රහාර සඳහා පැමිණි ඩ්‍රෝන යානා 3 ක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සහ තවත් ඩ්‍රෝන යානා තුනක් ඉලෙක්ට්‍රොනික යුධ පද්ධති මඟින් විනාශ කල බවයි. මෙම ප්‍රහාරවලින් කිසිදු ඡිවිත හානියක් වාර්තා වී නැහැ.
සති අන්තයේ නගරයේ සැලසුම් කර ඇති සියළුම මහා පරිමාණයේ උත්සව මේ හේතුවෙන් අවලංගු කරන බව කසාන් නගරාධිපතිවරයා පවසා තිබෙනවා. රුසියා විදේශ අමාත්‍යාංශය ද යුක්රේනය එල්ල කළ මෙම ප්‍රහාරය හෙළා දැක තිබුණා. කසාන් සිට ඊසාන දෙසින් සහ දකුණු දෙසින් පිහිටා ඇති ගුවන් තොටුපළ දෙකක් තාවකාලිකව වසා දැමීමට රුසියා බලධාරීන් පියවර ගත් අතර පසුව එම සීමා ඉවත් කළා.
පසුගිය දින කිහිපයේ දී තමන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර ලෙස යුක්රේනය මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කල බව රුසියාව පවසනවා. යුක්රේන වාර්තාවල දැක්වෙන්නේ රුසියාවෙන් ඊයේ දිනයේ පමණක් ඩ්‍රෝන ප්‍රහාර 113 ක් එල්ල වූ බවයි.