තියුණු ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් 13 හැවිරිදි දැරියක මිය යාමේ සිදුවීම ඊයේ (27) දහවල් 1 ට පමණ වාර්තා වූයේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයෙනි. මෙලෙස මියගොස් තිබුණේ පිළියන්දල බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුළී පදනම මත ඡීවත්ව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී .එම්, ඕෂාධි කෞෂල්‍යා නැමැති දැරිය යි. ඇය පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක්.
ඕෂාධි එදින සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමඟ නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ තිබුණා. එම පුද්ගලයා අදාළ කාන්තාව සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමඟ ද සමීප සම්බන්ධතාවක් පවත්වන බවට ද චෝදනා කර ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව අදාළ පුද්ගලයා කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහි පහර එල්ල වෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව තිබෙනවා.
එහිදී සැකකරු ඔවුන්ට ද පිහි ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලීසිය පවසන්නේ. පසුව සැකකරු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගැනිමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ඊට යොදාගත් ලණුව කැඩී යාම හේතුවෙන්.
“එක පාරටම නැන්දේ බේරගන්න. නැන්දේ අපිව බේරගන්න කියලා ළමයි කෑගැහුවා. ඊට පස්සේ මං දොරට තට්ටු කරලා නංගි ඇයි මොකද කියලා ඇහුවා. ඊට පස්සේ මේ මනුස්සයත් දොර ඇරගෙන ඇවිල්ලා ආයේ කපන්න හැදුවා. මං ඇහුවා මේ මොන පිස්සුවක් ද මේ වෙලා තියෙන්නේ කියලා ..”
අනතුරුව තමා පොලීසියට බාර වන බව එම නිවසේ පහළ මාලයේ සිටි නිවැසියන්ට පවසා ඔහු නිවසින් පිටව ගොස් තිබෙනවා. තුවාල ලැබූ මව සහ දියනියන් දෙදෙනා රෝහල්ගත කර ඇත්තේ මව සේවය කළ ආයතනයේම සේවකයෙකු විසින්. එලෙස වේරහැර හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්වයේ පසු වූ 13 හැවිරිදි ඕෂාධි කෞෂල්‍යා මියගොස් තිබෙනවා.
පොලීසියට බාර වන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදන් වී ඇති අතර ඔහු සොයා පිළියන්දල පොලීසිය විමර්ෂණ අරඹා තිබෙනවා. මේ දක්වා සිදුකළ විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කලකට පෙර මහඔය ප්‍රදේශයේ සිදු වූ ඝාතනයකට අදාළව ද සැකකරුවෙකු ලෙස නම්කොට සිටින අයෙක් බවයි.