දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැදවූ අවස්ථාවේ දීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා අධිකරණය හමුවේ අද පවසා ඇත්තේ දැනට සිදුකර ඇති විමර්ෂණවලට අනුව පෙත්සම්කාර මනූෂ නානායක්කාර මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවයි. නමුත් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව එම නිලධාරියා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ඡනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා එහිදී සඳහන් කර ඇත්තේ ඉදිරිපත් වන කරුණු පරීක්ෂා කර බැලීමේදී නිශ්චිත වරදක් සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන ආකාරයක් පෙනී නොයන අතර මොනයම් හෝ කරුණක් සොයාගැනීම සඳහා විමර්ෂණ සිදු කරන ආකාරයක් පෙනී යන බවයි. අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 දා කැදවීමට නියමිතයි.