මේ දිනවල වෙළඳපොලේ පවතින අධික පොල් මිල හේතුවෙන් පාරිභෝගිකයින් ද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. සාමාන්‍ය වෙළදපොලේ පොල් මිල මේ වනවිට පවතින්නේ රුපියල් 220 ත් ඉක්ම වූ මිලකයි. එවන් පසුබිමක මෙම ගැටළුවට මෙම සතිය තුළ විසඳුමක් නොලැබුණහොත්, ආහාරවල මිල ඉදිරියේදී 25% න් හෝ 30% න් වැඩි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
“ඇයි ඉදි ආප්ප වලට පොල් සම්බෝල දෙන්නේ නැත්තේ?, ඇයි වෙනදා වගේ හෝටලේ කෑම වේලට කිරි හොද්ද නැත්තේ? පොල් සම්බෝලේ නැත්තේ?, කිරි මාළු හොද්ද නැත්තේ ඇයි කියලා ප්‍රශ්න අහනවා. රුපියල් 70 ට 80 ට තිබ්බ ගෙඩියක් දැන් රුපියල් 190 යි, 200යි, 220 යි. දැන් පවතින මිලත් එක්ක අපිට සම්බෝල, කිරි මාළු හොද්ද, කිරි හොදි වැනි දේවල් අපට දීගන්න අපහසුතාවයකට පත් වෙලා තියනවා. ඒකට හේතුව තමයි මේ පවතින දැඩි හිඟය සහ පවතින ඉහළ මිල. බඩු හිඟ නම් පාලන මිල කොච්චර දැම්මත් මේ රටේ මාෆියාව නවතින්නේ නැහැ. නිකන් අර අතීසාරෙට අමුඩ මාරු කරනවා වගේ වැඩක් නේ ඕක. හාල් මිල 20% න් 30% න් ගියා කියමුකෝ. පොල් ගෙඩිය 1ට 3ක් වැඩි වෙලා තියෙන්නේ. අපිත් 25% ක් 30% ක් වගේ අගේකින් ආහාර මිල වැඩි කරන්න වෙනවා.”
හර්ෂණ රුක්ෂාන් – සභාපති – සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය
මේ අතර කතෝලික සභාවට අයත් වතුවල රුපියල් 110 කට පාරිභෝගිකයින් වෙනුවෙන් ලබා දීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංඡිත් හිමිපාණන් එකඟ වී තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය පැවසුවේ එලෙස ලබා ගන්නා පොල් සතොස හරහා ඡනතාවට රුපියල් 130 ට ලබා දෙන බවයි.
“ මෑත අවුරුදු කිහිපයක පටන් සත්ව හානිය සීඝ්රයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතිං මේ තත්වයත් එක්ක තමයි මේ ඵලදාව අඩු වීම වඩාත්ම දැනෙන්නේ. ඒ 2017 අවුරුද්දට පස්සේ අපට මේ වගේ අඩු ඵලදාවක් ලැබුනේ 2024 වර්ෂයේ දී. සී. ආර්. අයි. එකේ දත්ත පුරෝකථන වලට අනුව මාර්තු මාසය වෙනකොට යම් වැඩි වීමක් වෙනවා. අපි මුන්දලම වතු යායෙන් ගෙඩි 22000 ක් සපයනවා සතොසට. විශේෂයෙන්, අපි ස්තූති කරන්න ඕන කාදිනල් උන්නාන්සේට. උන්නාන්සේගේ වතුවල තිබෙන පොල් මේ දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගික ඡනතාවට රුපියල් 130 ක මිලකට ලබා දෙන්න උන්නාන්සේ එකඟ වුනා”
සාන්ත රණතුංග – සභාපති – පොල් සංවර්ධන අධිකාරිය