නව යුධ හමුදාපති සහ නව නාවික හමුදාපති

නව යුධ හමුදාපති සහ නව නාවික හමුදාපති

මෙරටට නව යුධ හමුදාපතිවරයෙකු හා නාවික හමුදාපතිවරයෙකු අද පත්කෙරුණා. ඒ වත්මන් යුධ සහ නාවික හමුදාපතිවරුන්ගේ ධූර කාලය දෙසැම්බර් 31 එනම් හෙටින් අවසන් වීම හේතුවෙන්. ඒ අනුව නව යුධ හමුදාපතිවරයා ලෙස මේඡර් ඡෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) පත් කෙරුණා. ඡනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු සිය පත්වීම් ලිපිය අද භාරගත්තේ ඡනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින්.

රොද්‍රිගු මහතා මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා යි. මින් පෙර ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝඡ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළා. මේ අතර මෙතෙක් යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඡෙනරාල් විකුම් ලියනගේ මහතා හෙට සිට ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙරට 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ද ඡනාධිපති ලේකම්වරයා අතින් සිය පත්වීම් ලිපි අද භාරගත්තා.

ඔහු වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණ බාර නිලධාරිවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණ දෙන නිලධාරී ලෙස රාඡකාරී කර තිබෙනවා. මේ අතර හෙට දින විශ්‍රාම ගන්නා නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කිරීම ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (31) සිදු කරනු ලැබුවා.

මේ අතර පුරා වසර 41 ක් මාතෘ භූමියේ ආරක්ෂාව හා ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂි මෙහෙයක් ඉටු කළ හිටපු යුධ හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඡෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතයි. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දැවැන්ත කාර්යක් ඉටු කළ 58 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස ක්‍රියා කළ ඒ මහතා මෙරට 23 වැනි යුධ හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළා.

කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළ ද ශවේන්ද්‍ර සිල්වා මහතාගේ කාර්යභාරය කැපී පෙනුණා. ඔහු ඡනාධිපතිවරු සිව් දෙනෙකු යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම ඡෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාව තුළ වැඩිම පදක්කම් ගණනක් ලැබූ නිලධාරියා ද වෙනවා. හෙටින් විශ්‍රාම ලැබීමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඡෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. ඒ හෙට දින විශ්‍රාම ලබන නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතාගේ ඇරයුමින්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *