තිසර නානායක්කාර සල්ලි පිල්ලි ගැසූ හැටි හෙළිවෙයි

තිසර නානායක්කාර

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සොහොයුරු තිසර නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වැනිදා අත්අඩංගුවට ගැනුණා. බිබිල ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගැනුණේ යක්කල පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව යි. පසුව සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දි අද යළි කැදවුව ද සැකකාර තිසර නානායක්කාර ඊට ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ ඔහු වෙනත් නඩුවකට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබු බැවින්. නමුත්, තිසර නානායක්කාර සම්බන්ධ විමර්ෂණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිඡ අපරාධ විමර්ෂණ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී එම නිලධාරීන් කියා සිටියේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් මෙලෙස පුද්ගලයින් විදේශගත කරන මුවාවෙන් සිදුකර ඇති වංචා සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 37 ක් ලැබි ඇති බවයි.

“ස්වාමීනි, මෙම සැකකරුට එරෙහිව ප්‍රකාශ ලිවිය නොහැකි මට්ටමින් දිනපතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතිනවා. දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 37 ක්. ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැබඩාව, ඊශ්‍රායලය ආදී රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා සඳහා යවන මුවාවෙන් තමයි මේ මුදල් වංචාවන් සිදුවෙලා තියෙන්නේ. ඒ පැමිණිලි ගැන අධ්‍යනයේ දී දැනට සිදු වී ඇති වංචාව රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂයකට වැඩියි. මෙම වංචාවට වැඩියෙන්ම ලක්වී ඇත්තේ රාඡ්‍ය නිලධාරින්. සැකකරුට එරෙහිව ඉදිරි විමර්ෂණ සිදුකරන බැවින් මෙම අවස්ථාවේ තිසර නානායක්කාර ඇප ලබාදීමට අපි විරෝධය පළ කරනවා. “

ප්‍රධාන පොලීස් පරීක්ෂක මහින්ද ඡයසුන්දර

ස්ථානාධිපති – මූල්‍ය හා වාණිඡ අපරාධ විමර්ෂණ කොට්ඨාසය

සැකකාර තිසර නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හස්තික දේවේනද්‍ර මහතා සඳහන් කළේ පැමිණිලිකරුවන්ගේ මුදල් සිය සේවාදායකයා ලබාගත් බව සත්‍යයක් වුවද එම මුදල් ඩුබායි රාඡ්‍යයේ සිටින කාන්තාවකට යවා ඇති බවයි. පොරොන්දු වූ පරිදි රැකියා අවස්ථා ලබාදීමට නොහැකි වුවද එම මුදල් තම සේවාදායකයා සතුව නොමැති බව නීතීඥවරයා පැවසුවා. ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ගම්පහ මහේස්ත්‍රාත් ශිරනි පෙරේරා මහත්මිය තිසර නානායක්කාර එළඹෙන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සමයේ සිදු වූ විදේශ රැකියා වංචා හෙළිදරව් කිරිම නිසා සිය විදේශ රැකියා නියෝඡිත බලපත්‍රය අත්හිටුවා ඇති බවට චෝදනා කරමින් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද නිහඩ උපවාසයක් ආරම්භ කළා.

“මේ කොරියා සහ ඊශ්‍රායලය සඳහා යන ළමයින්ගෙන් අධික ලෙස මේ නාවල ඒඡන්සිය මුවාවෙන් මුදල් ගරනවා. ලක්ෂ 25, 35.. මනූෂ නානායක්කාර ඒ වගේම හිටපු සභාපති ඒ සියල්ලගේම නම් ප්‍රකාශ කරලා මේ දූෂණය හෙලිදරව් කරපු නිසා තමයි මට මේ වෛරය දිගින් දිගටම එන්නේ. මට බලපත්‍රය ලබාදෙනතුරු මං මාරාන්තික උපවාසයේ යෙදෙනවා”

මේ අතර රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සළෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඡනවාරි 17 වදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලි මහත්මිය අද නියෝග කළා. අද නඩු වාරයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ පැමිණිලිකරුට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු සම්පූර්ණ වන්දි මුදල ලබාගැනීමට කටයුතු සකස් කිරීම වෙනුවෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 400 ක අල්ලසක් ඉල්ලා ඇති බවයි.

ඉන් ලක්ෂ 90 ක් අල්ලස් ලෙස ලබාගත් අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද ඔවුන් සඳහන් කළා. සැකකාර සළෝචන ගමගේ වෙනුවෙන් පෙනී සිටි ඡනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලා සිටිමින් සඳහන් කළේ මෙම සිද්ධියට සිය සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සිදුවීම වන අවස්ථාවේ පැමිණිලිකරු තමන්ට හිමි විය යුතු වන්දි මුදල නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන අවසන්ව තිබියදී මෙලෙස අල්ලස් ලබාගන්නේ කෙසේදැයි ඡනාධිපති නීතීඥවරයා ප්‍රශ්න කළා. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *