ජීවිත කිහිපයක් එළිය කර – බැසගිය සඳමාලි 

ජීවිත කිහිපයක් එළිය කර

ජීවිත කිහිපයක් එළිය කර සඳමාලි නොඑන ගමන් යයි. ඇතිමලේ ප්‍රදේශයේ ඡීවත් වූ උදේශිකා සඳමාලි වයස අවුරුදු 24 ක තරුණියක්. පවුලේ ආර්ථික අපහසුතා මැද වුවත් සිය අධ්‍යාපන කඩඉම් ඉහළින් ඡයගත් උදේශිකා සංගීතයට හා ක්‍රීඩාවට ද දස්කම් දැක් වූ දියණියක්. තම හිසකෙස් පවා මීට පෙර පිළිකා රෝගීන් හට දන් දී තිබෙන සඳමාලි සිය පරිත්‍යාගශිලීභාවය පසක් කළේ වරක් දෙවරක් නොවේ.

කෙතරම් යහපත් දිවි පෙවෙතක් ගත කළත් එක් නිමේෂයක දී ඇයගේ අනාගත සිහින සියල්ල අතු ගා දමන්නට දෛවය සැහැසි වී තිබුණා. මීට දින දෙකකට පෙර තම පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී අනතුරකට ලක්වන සඳමාලි අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරෙනවා.

බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ සඳමාලිගේ මොළය අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඇයව ඡීවත් කරවීමට නොහැකි බවට රෝහල් වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. මේ බව දැනගත් සඳමාලිගේ ඥාතීන් ඇයගෙන් තවත් ජීවිත කිහිපයකට පණ දීමට තීරණය කර ඇත්තේ ඇයගේ පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් කළ හැකි උතුම්ම පිංකම එය වූ නිසාවෙන්.

ඒ අනුව සඳමාලිගේ ඥාතීන් විසින් ඇයගේ හදවත, අක්මාව ඇතුළු අවයව කොටස් දන් දීමට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට සඳමාලිගේ වකුගඩු දෙක ඉවත් කර තිබෙන අතර බදුල්ල ශික්ෂණ රෝහලේ වකුගඩුවක් අවශ්‍යව සිටි රෝගියෙකුට එම වකුගඩුවක් දැනටමත් බද්ධ කර තිබෙනවා. අනෙක් වකුගඩුව මහනුවර ඡාතික රෝහලේ රෝගියෙකුට බද්ධ කිරීම සඳහා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“අයියේ මෙහෙමයි තව අවුරුද්දකින් විතර මං කොන්ඩේ දන් දෙන්න ඉන්නේ. මං මේකට තමයි ආවේ කොන්ඩේ කපන්න කිය කියා හිටියා. එයා හරි ආසාවෙන් කරපු වැඩක් තමයි ඔය කොන්ඩේ දන් දෙන එක.”

සඳමාලිගේ සහෝදරයා

එම ශල්‍යකර්මවලින් අනතුරුව සඳමාලිගේ අනිකුත් අවයව මඟින් ද තවත් ජීවිත කිහිපයකට පණ දීමට වෛද්‍යවරුන් සූදානම්. මේ අසිරිමත් මනුෂ්‍යත්වයේ වටිනාකම ලොවට කියා පාන්නේ අසිරිමත් නත්තලේ උදාවත් සමඟ වීමත් දෛවෝපගත සිදුවීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *