බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූඡ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඡාතීන් අතර සංහිදියාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීතී සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ පොලීසිය විසින් උන්වහන්සේට නඩුවක් ගොනුකර තිබුණා. ඒ 2016 වසරේ ඡුලි මස 8 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්. එය අතුගා දමන්න ඕනේ..” යනුවෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව අද කැදවූ අවස්ථාවේ අදාළ චෝදනාවට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූඡ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මාස 9 ක් ලිහිල් සිර දඩුවමක් නියම කළා. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව තුළින් තමන් කැමති ඕනෑම ආගමක් හෝ ඇදහිල්ලක්, විශ්වාසයක් දැරීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන ඇති බවයි. ඒ අනුව ඉස්ලාම් භක්තිකයින්ට තමන්ගේ දහම සම්බන්ධයෙන් විශ්වාසයක් දැරීමට පූර්ණ හිමිකමක් තිබෙන බවත් විත්තිකාර ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර ඇති කරුණු තුළින් ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නිග්‍රහයක් සිදු වී ඇති බවට පෙනී යන බව මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළා.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රකාශය නොසැලකිල්ලෙන් කරන ලද්දක් නොව චේතාන්විතවම සිදුකර ඇති බවට පෙනී යන බවයි. ඒ අනුව විත්තිකරුට ( ගලගොඩඅත්තේ ඥාණසාර ) එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බැවින් විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළා. තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විත්තිකූඩුවේ සිටි ඥාණසාර හිමියන් “ස්වාමීනි, මම බෞද්ධ භික්ෂුවක්. වසර 20 ක් පමණ මම ඉස්ලාම් මූලධර්මවාදය ගැන කතා කරනවා. හැමදාම මෙහෙම වෙන්න බැහැ. එක්කෝ එකපාරටම මරලා දාන්න. “ යනුවෙන් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.
අනතුරුව අදාළ දඩුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිය නීතීඥවරු මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබුවා. උන්වහන්සේගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට මාස 9 ක සිර දඩුවමක් නියමව ඇති බැවින් ඊට එරෙහිව ගොනු කරන ලද අභියාචනය විභාග කිරීම සඳහා ඊටත් වඩා වැඩි කාලයක් ගතවිය හැකි බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප නියම කරන ලෙසයි. එමෙන්ම තම සේවාදියක ස්වාමීන්වහන්සේට පිට කොන්දේ සැත්කමක් සඳහා වෛද්‍යවරු නිර්දේශ කර ඇති නිසා බන්ධනාගාරගත වුවහොත් එම සැත්කම කරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇතැයි ද නීතීඥවරයා අදිකරණයට ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
හාමුදුරුවනේ මොනවද කියන්න තියෙන්නේ මේ ගැන?
“දැන් අර ඉස්ලාම් නාමයෙන් 300 ක් විතර මැරුණනේ. ඒක කැළලක් නෙවෙයිද? එහෙම අනතුරක් වෙනවයි කියපු පණිවිඩකාරයට වෙඩි තියන එක නේ දුක.. මට ඒ ගැන කම්පාවක් නෑ. අපි කතා කරලා තියෙන්නේ පොදුවේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්. ඒකට සැලකිල්ලක් තියෙන්න ඕන..”
අනතුරුව අද පස්වරුවේ උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවා.