එලොව පොල් පෙන් වූ පොල් හිඟයට හේතුව මෙන්න

පොල්

ආසන්න වසර කිහිපය ගත්විට පොල් මිළ සැසදිමේදී 2020 දි පොල් ගෙඩියක් වෙළදපොල තුළ රුපියල් 60ත් 70 ත් අතර මිලකට අලෙවි වුණා. 2022 අග භාගය වනවිට පොල් ගෙඩියක මිල දැක්වුණේ රුපියල් 100 ක අගයකයි. 2023 අවසානය වනවිට ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 80 ත් 120 ත් අතර මිලක පැවතියා. කෙසේ වෙතත් ගෙවුනු 2024 අවසානය වනවිට ගෙඩියක සිල්ලර මිල රුපියල් 160 සිට රුපියල් 200 දක්වා ඉහළ ගියා. දැනට නිකුත් වී ඇති දත්ත අනුව ගෙවුනු 2024 දී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 700 න් පමණ පහත වැටී තිබෙනවා. පසුගිය වසර හතරේදී වාර්ෂිකපොල් නිෂ්පාදනය සටහන් වූයේ 2020 දී පොල්ගෙඩි මිලියන 2792 ක්, 2021 දී පොල්ගෙඩි මිලියන 3120ක්, 2022 දී පොල්මිලියන 3391 සහ 2023 දී පොල්මිලියන 2682 ක් වශයෙන්.

“වසර දෙදහස වගේ කාලය ගන්නකොට අපේ රටේ තිබිච්ච පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3000 ක වගේ ප්‍රමාණයක තමයි තිබුනේ. ඒ වෙලාවේ අපේ රටේ ඡනගහනය තිබුණේ මිලියන 18 ක් වගේ ප්‍රමාණයක්. 2024 වර්ෂය වෙනකොට අපේ රටේ ඡනගහනය මිලියන 23 දක්වා වැඩි වෙනවා. හැබැයි පොල් නිෂ්පාදනය තියෙන්නේ අතනමයි. ඒ නිසා ඉතා පැහැදිලි කාරනයක් තමයි ඉල්ලුම සපුරන්න හැකි ප්‍රමාණයට නිෂ්පාදන වැඩි වෙලා නෑ. ඒ එක්කම අපිට පැහැදිලියි ක්‍රමයෙන් වැඩිවෙන අපනයනයක් අපි නිරීක්ෂණය කරනවා.”

ඡේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර – රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ

මෙලෙස පොල්අස්වැන්න අඩු වීමට ප්‍රධාන කාරණා රැසක් බලපා තිබෙනවා. ඒ පොහොර යෙදීම අවම වීම, වන සතුන්ගෙන් සිදුවන හානි, කාලගුණික වෙනස්වීම් මෙන්ම මෑත කාලීනව පොල්වගා ඉඩම් කට්ටි කර වෙනත් ව්‍යාපෘති සඳහා විකිණීම ඒ අතර ප්‍රධානයි. මේ හේතුවෙන් 2000 අංක 1 දරණ ගස් හෙලීම පාලනය කිරීමේ සංශෝධන පනත යටතට පොල්ගස් එක් කිරීමට 2021 දී පියවර ගනු ලැබුවේ අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.

මින් ඉදිරියට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනිවාර්යයි නේද පොල්ගස් කපනවා නම්?

“අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා බලපත්‍ර ලබාදීමේ බලතල තියෙන්නේ ප්‍රාදේශිය ලේකම්තුමාට හෝ කෘෂිකර්ම අධ්‍යක්ෂකට.”

වෛද්‍ය සුනිමල් ඡයකොඩි – සභාපති – පොල් වගා කිරීමේ මණ්ඩලය

දීර්ඝ කාලීන පියවරක් ලෙස මෙම වසරේදි පැළ මිලියන 3 ක් වගා කිරීමට තීරණය කර තිබෙනවා.

“ඡනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පොල්ත්‍රිකෝණයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සාකච්චා වෙලා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන්වීමකුත් පොරොන්දු වෙලා තියෙනවා.”

වෛද්‍ය සුනිමල් ඡයකොඩි – සභාපති – පොල්වගා කිරීමේ මණ්ඩලය

දීර්ඝ කාලීනව එවැනි පියවර ගත්තද හිගයට කෙටි කාලින විසදුම පොල්ආනයනය කිරීමද?

ඉන්පොර්ට් කරන්න ගියාම ප්‍රශ්න වගයකුත් එනවා. මොකද රෝග තත්වන් ඉන්පොර්ට් වෙනවා ඕකත් එක්ක. විශේෂයෙන් සුදු මැස්සා සහ වැලිගම විල්ට් වගේ ඒවා ඉන්පොර්ට් ඩිසීස්. පොල් ගෙඩි අපි ආනයනය කරන්න දෙන්නේ නැත්තේ ඒ නිසා. නමුත් අර පොල්මදය ආනයනය කරන්න ඉඩ දීලා තියෙනවා.”

වෛද්‍ය සුනිමල් ඡයකොඩි – සභාපති – පොල් වගා කිරීමේ මණ්ඩලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *